සි E

සභාපති පණිවුඩය

කැලණිය ප්‍රාදේශීය සභාවේ මෙම නිල වෙබ් අඩවියට පිවිසෙන ඔබ සියලු දෙනා හෘදයාංගයෙන් ම පිළිගන්නෙමු !

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා (සංශෝධිත) පනත ප්‍රකාරව ප්‍රාදේශීය සභාවක මූලික කර්තව්‍යයන් කේන්ද්රගතව ඇත්තේ මහජන සෞඛ්‍ය සුරක්ෂිත කිරීම, පොදු උපයෝගිතා සේවාවන් සැපැයීම, පොදු මංමාවත් සහ යටිතල පහසුකම් සංවර්ධනය හා නඩත්තු කිරීම, මහජන සුඛ විහරණය හා සුබ සාධනය ඇතුළු සියලු පහසුකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීමට අදාළ සියලු දේ විධිමත් කිරීම, පාලනය හා නියාමනය කිරීම යනාදි ප්‍රධාන ක්ෂේත්‍ර වටා ය. ඒ අනුව, ප්‍රාදේශීය සභාවක් යනු ජනතාවගේ දෛනික ජීවිතයට ඍජුව ම බලපාන ආයතනයෙකි. ඔවුන්ගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික, අධ්‍යාපනික යනාදි සියලු ක්ෂේත්‍ර වලට ඍජුව හා වක්‍රව බලපාන්නෙකි. මහජන සේවා සපයන, පාලන හා නියාමන කාර්යයන් සහ ජනතාවගේ ජීවන තත්ත්වය මනාව සහතික කොට වර්ධනය කරමින් පොදු සංවර්ධන ක්‍රියාවලිය මෙහෙයවන ආයතනයෙකි.

එයාකාරයෙන් සභාවක් ලෙස පැවැරී ඇති කර්තව්‍යයන් හා වගකිම් අප විසින් ඉටු කරනු ලබනුයේ සභාවේ බල ප්‍රදේශයේ ළමා, තරුණ හා වැඩිහිටි මෙන් ම ආබාධිත / විශේෂ අවශ්‍යතා ඇති ප්‍රජාව ඇතුළු සියලුම ප්‍රජාව උදෙසාය. එමෙන්ම, රජයේ ප්‍රතිපත්තිය වන ගම පුනරුදයෙන් ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් ’ යටතේ ප්‍රාදේශීය බල ප්‍රදේශය තුළ ආර්ථික, සමාජ, සංස්කෘතික හා පාරිසරික වශයෙන් තිරසාර ජීවන රටාවක් ගොඩනැගීමේ අරමුණ ද පදනම් කරගෙන ක්‍රියා කරන්නෙමු.

කොළඹ නගරයට ආසන්න ප්‍රධාන ප්‍රවේශ මාර්ගයේ පිහිටා ඇති කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය යනු වේගයෙන් නාගරීකරණයට ලක්ව තිබෙන වාණිජ, කාර්මික, අධ්‍යාපනික හා නේවාසික කටයුතු සංකේන්ද්‍රණය වී ඇති ප්‍රදේශයෙකි. මෙකී සුවිශේෂ අවස්ථා ද සැලැකිල්ලට ගනිමින් ආර්ථිකයෙන් ශක්තිමත්, දේශපාලනිකව හා සංස්කෘතික වශයෙන් සජීවී, සමාජ සාධාරණත්වය හා සහනුකම්පිත පුරවැසි ප්‍රජාවගෙන් යුක්ත සහ පරිසර හිතකාමී නිදහස් කැලණියක් ගොඩනැගීම අපගේ අරමුණ වේ. ඒ ඒ අදාළ අමාත්‍යංශයන්හි රාජ්‍ය ප්‍රතිපත්ති ද මනාව බද්ධ කරගනිමින් කැලණිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය, ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ දේශපාලන නායකත්වය ද සහසම්බන්ධ කරගනිමින් අප සභා බල ප්‍රදේශයේ ආර්ථික සහ මානව ප්‍රාග්ධන සංවර්ධන කටයුතු ඉටු කරන්නෙමු.

අදූෂිත දේශපාලන සංස්කෘතියක් ගොඩනඟමින් විනිවිද හා ජනතාවට වගවන, කාර්යක්ෂම සහ ජනතා සහභාගිත්ව පාලනයක් පවත්වා ගෙන මනා සේවාවක් ලබා දෙමින් ජනතා විශ්වාසය තවදුරටත් වර්ධනය කරගනිමින් වරිපනම් හා අනෙකුත් බදු ආදායම යනාදිය වර්ධනය කරගැනීමට අපි කටයුතු කරන්නෙමු. එමෙන් ම සභාව සතු ආදායම් උත්පාදන විභවයක් ඇති දේපළ යෝග්‍ය පරිදි සංයුක්ත සැලැසුමක් මත කෙටි, මධ්‍ය හා දිගු කාලීන ව්‍යාපෘති යටතේ සංවර්ධනය කරමින් සහ නව ආදායම් උත්පාදන මාර්ග හඳුනා ගනිමින් සභාවේ ආදායම් වර්ධනය කොට මහජන සේවාවන් සහ සංවර්ධන කාර්යයන් ඉටු කිරීම අපගේ අරමුණ ය. අප සභාව සතු පෙර පාසල් සහ පුස්තකාල භෞතිකව හා ගුණාත්මකව සංවර්ධන කිරීමටත් සභාවේ ක්‍රීඩා භූමි, ළමා උද්‍යාන, උත්සව ශාලා ඇතුළු පොදු ගොඩනැගිලි ද මංමාවත් හා කාණු පද්ධිති යනාදිය ද ක්‍රමවත්ව සංවර්ධන කිරීමට කටයුතු කරන්නෙමු.

පාසල්, තරුණ හා වැඩිහිටි ප්‍රජාව කේන්ද්ර කර ගනිමින් වෘත්තීය හා භාෂා අධ්‍යාපන මෙන්ම සාහිත්‍ය, කලා ඇතුළු සංස්කෘතික වැඩසටහන් ද අඩු ආදායම්ලාභී ප්‍රජාව ඇතුළු විශේෂිත ඉලක්කගත ප්‍රජාව ආර්ථික හා සමාජ සවිබලගැන්වීම සඳහා විශේෂ වැඩසටහන් ද ස්වයං රැකියා කරන ප්‍රජාවන් බලගැන්වීම, ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීම, පොදු ස්ථාන සුබසාධන කටයුතු සඳහා ද විශේෂ ව්‍යාපෘති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් යොදා ඇත.

විශේෂයෙන් ම නාගරික සංවර්ධන අධිකාරිය විසින් යෝජිත කැලණිය සංවර්ධන සැලැස්ම යටතේ යෝජිත සැලසුම් කෙරෙහි ද අවධානය යොමු කරමින් කිරිබත්ගොඩ, කැලණිය සහ හුණුපිටිය කේන්ද්ර කරගෙන අප කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නගර සංවර්ධනය කිරීම සඳහා නෛතික රාමුව තුළ උපරිම දායකත්වයක් සභාවක් ලෙස ලබා දෙන්නෙමු.

අප සභාව වෙත පැවැරී ඇති සේවාවන් සහ කර්තව්‍යයන් ඉටු කරනුයේ මහජනතාවගේ ම බදු මුදල් මතින් බව ගැඹුරු අවබෝධයෙන් ක්‍රියා කරන අපි, සියලු දේ මුල්‍ය පාලනයේ වගකීම් සහ පාරදෘශ්‍යතාව මෙන් ම ජනතාව අප කෙරෙහි තබා ඇති දේශපාලන විශ්වාසය රකිමින් ද සියලු දේ සාධාරණ හා යුක්ති සහගතව ද මූල්‍ය කළමනාකාරිත්වයකින් සහ වගවීමකට යටත්ව ද කිරීමට බැඳී සිටිමු.

මේ සඳහා සක්‍රීය හා සාධනීය සහභාගිත්වයක් ලබා දෙමින් පුරවැසියන් ලෙස ඔබ සතු වගකීම ද ඉටු කරනු ඇතැයි අපි අවංකව ම අපේක්ෂා කරන්නෙමු! කැලණිය ප්‍රාදේශීය සභාව මෙ රටේ ආදර්ශවත් පළාත් පාලන ආයතනයක් බවට පත් කිරීමේ පොදු අරමුණ වටා එකතුවන ලෙස ආයාචනා කර සිටිමු!

ආචාර්ය සඳුන් යාපා කරුණාරත්න

සභාපති

කැලණිය ප්‍රාදේශීය සභාව.